Machine Gun Preacher (2011) | ප්‍රබලතම අවිය ‘බලාපොරොත්තුවයි’…[සිංහල උපසිරැසි සමඟ]

Machine Gun Preacher (2011) | ප්‍රබලතම අවිය ‘බලාපොරොත්තුවයි’…[සිංහල උපසිරැසි සමඟ]


බලාපොරොත්තුව! බලාපොරොත්තුව කියන්නේ හරි පුදුම දෙයක්! ඒකෙන් ජීවිත ජීවත් කරවනවා. ඒක නැතුව ගියහම ජීවිතේට අර්ථයක්, අරමුණක් නැතුව යනවා. ඒ විතරක් නෙමෙයි; ජීවිතේ රහකුත් නැතුව යනවා. කෙනෙකුට තමන්ගේ ජීවිතේ පවත්වාගන්න උදව් වෙන බලාපොරොත්තු කඩ වුණහම ඒක මහා වේදනාවක්. හැබැයි බලාපොරොත්තු කඩ වුණහම එච්චර වේදනාවක් දැනෙනවා නම් බලාපොරොත්තු නැතිවම ජීවත් වෙන්න සිද්ධ වුණොත් කෙනෙකුට කොච්චර වේදනාවක් දැනේවිද?

සෑම් චයිල්ඩර්ස් කියන්නේ බලාපොරොත්තුවේ දේව-දූතයෙක්. හැබැයි ඔහු සුර විමනකින් ආ කෙනෙක් නෙමෙයි. ඔහු පාතාලයෙන් ආ කෙනෙක්. නමුත් ජීවිතය ගැනවත් බලාපොරොත්තු නැතිව හිටපු පිරිසකට සවියක් වෙන්න ඔහුට පුළුවන් වුණා. ඒ සඳහා ඔහුට ශක්තිය දුන්නේ දෙවියන්. ඒ වගේම ඔහුගේ ළඟින්ම ඉඳගෙන බිරිඳත් ඔහුට මහා ශක්තියක් වුණා. මේ ගමනෙදී ඔහු මුහුණ පෑ බාධක කම්කටොළු බොහෝමයි. ඔහුගේ බලාපොරොත්තු බිඳවැ‍ටුණු වාර එමටයි. නමුත් දෙවියන්ගේ මිනිසෙක් වූ ඔහුව නවතාලන්නට ඒ කිසිවකට නොහැකි වුණා.

මේ කතාවත් මා ඔබට සිංහල සහිතව ගෙන එන සත්‍ය කතා පෙළේ තවත් එකක්. මෙහි දිග හැරෙන්නේ පෙර කිවූ සෑම් චයිල්ඩර්ස් නැතිනම් ‘ Machine Gun Preacher ’ ගේ ජීවිතයෙන් බිඳක්. ඈත අප්‍රිකාවේ සුඩානයේ සහ උගන්ඩාවේ ජීවිතය ගත කරන බලාපොරොත්තු විරහිත පිරිසකට ඔහු බලාපොරොත්තු ගෙන ආ හැටි මේ කතාවේ දිග හැරෙනවා. ඔහුගේ මේ සටන දරුවන් උදෙසා කෙරෙන්නක්. ඔහු මේ අසරණ අවිහිංසක දරුවන්ට කොතරම් ළෙංගතු වූවාද කිව්වොත් තමන්ගේ ගේ දොර පවා විකුණමින් තැනුවේ මේ දරුවන්ගේ ලොවට බලාපොරොත්තුවක් එක්කරන්නයි.

ඔහු ගැන වැඩි විස්තර දැනගන්නට කෙනෙකුට අවශ්‍ය නම් ඔහු සහ ඔහුගේ කටයුතු අළලා පවත්වාගෙන යන මෙනමින්ම තිබෙන වෙබ් අඩවියට  යා හැකියි. එහි කියැවෙන පරිදි මේ චිත්‍රපටයේ දැක්වෙන සිදුවීම් සත්‍ය අත්දැකීම් රාශියක් ඇසුරින් තමයි රූගත කෙරිලා තිබෙන්නේ. මා මේ යොදා ගත් මාතෘකාවත් ඉන් උපුටා ගත් එකක්.

ඉතිං සෑම් ගේ ජීවිතයත් එක්ක බලනකොට ඔහු මේ කරන දේ ගැන කෙනෙකුට පුදුමත් හිතෙන්න පුළුවන්. කෙනෙකුට මේ තරම් වෙනස් වෙන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඕනෑම කෙනෙකුට හොඳ මිනිහෙක් ලෙස මේ සමාජයට සේවය කරන්න පුළුවන්. ඔහුගේ අතීත හැසිරීම් ඊට බාධාවක් වෙන්නේ නැහැ යමෙක් අවංකවම ඒ වෙනුවෙන් කැපවෙනවානම්.

දේවදූතයන් පය ගහන්නට බිය වෙන තැන් වලට යා හැක්කේ මිනිසුන්ට පමණයි. සෑම් චයිල්ඩර්ස් කියන්නේ ඒ විදිහට දේව දූතයන් පවා බියෙන් පය නොගසන බිමකට පිවිසී එහි දුප්පත් වැසියන්ට බලාපොරොත්තුවේ හුස්මෙන් පණ පොවන කෙනෙක්. මේ මිනිසාගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන් අද වන විට ජීවිත ගණනාවක් බලාපොරොත්තුවෙන් පිරීතිරී ගිහින්. ඉතිං මේ මිනිසා වෙනුවෙන් උපහාරයක් ලෙස නිර්මාණය වූ මේ චිත්‍රපටයට මා සිංහල එක් කළේ මෙවන් මිනිසුන් වෙනුවෙන් මගේ උපහාරයත් පිරිනමන ගමන් මේ වැනි සත්පුරුෂයන්ගේ සත් ක්‍රියාවන් ගැන තොරතුරු අප රටේ පිරිස අතරටත් ගෙන යෑමේ අරමුණින්.

එහෙමනම් සැබෑ ලොව ජීවත් වූ (වන) සැබෑ චරිත ඇසුරින් කළ චිත්‍රපට සිංහල උපසි‍රැසි සමගින් ඔබ වෙත ගෙන ඒමේ මාගේ ව්‍යායාමයේ මේ පියවරත් රසවිඳින මෙන් ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

ප.ලි. මා ‘ The Motorcycle Diaries’ චිත්‍රපටය ගෙන එද්දී ඔබගෙන් කළ ඉල්ලීමම මේ චිත්‍රපටය සම්බන්ධයෙනුත් කිරීමට කැමතියි. එනම් මෙහි අවසානයේ සෑම් චයිල්ඩර්ස් නගන පැනයෙහි යුක්තියුක්ත භාවය ගැන ඔබගේ හෘදය සාක්ෂ්‍යට එකඟව පිළිතුරක් ලබා දීමට උත්සහ කරන ලෙසටයි.

1.42 GB කොපිය මෙතනින් බාගන්න
800 MB කොපිය මෙතනින් බාගන්න
450 MB කොපිය මෙතනින් බාගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Download Sinhala Subtitles

Leave a Reply