Ironclad (2011) | රට වෙනුවෙන්, රජුට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

Ironclad (2011) | රට වෙනුවෙන්, රජුට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

මධ්‍යතන යුගය ගැන අත්දැකීම් ඇති කවුරුත් ඉන්නවද? කොහොම ඉන්නද; නේද? අපට ආපහු අතීතයට යන්න විදිහක් නෑනේ ඒ කාලේ ගැන අත්දැකීම් ලබන්න. ඒ වුණත් ‘Strong Hold’ සෙල්ලම් කෙරුවනම් චුට්ටක් හරි අදහසක් ඇති, ඒ කාලේ බටහිර ලෝකයේ ස්වරූපය ගැන. ගැ‍ටුම්, විනෝදය, ත්‍රාසය, භීතිය, කෲරත්වය, වීරත්වය, සටන් කෙළවරක් නෑ! ඔන්න අද ඔබ මස්-මරන්නෙක්, හෙට බලකො‍ටුවක් රකින දුනුවායෙක්; අද ඔබ දැවකරුවෙක්, හෙට සතුරන් බරි ගහන කෙටේරි කාරයෙක්. ජීවිතේ හරිම අවිනිශ්චිතයි. ඒ වගේම පුදුමාකාර චකිතයකින් යුක්තයි. මේ හේතුව හින්ද වෙන්නැති මාත් ඒ යුගයට මෙච්චරම වහ වැටෙන්නේ. ඒ ආශක්ත බව හින්දමයි මේ විදිහට ඒ යුගය පාදක කරගනිමින් නිර්මාණය කරන්නට යෙදුණ සිනමා නිර්මාණයක් සිංහලෙන් ගේන්න හිතුණේ.
ඒකටත් වඩා බොහොම වැදගත් තවත් කාරණයක් මෙහි අන්තර්ගත වෙනවා. මං හිතන්නෙ ඒ කාරණේ මාව මේකට සිංහල යොදන්න පොළඹවන්න සෑහෙන තරම් බලපෑමක් ඇති කළා. “ඒ තමා දේශපාලනය!” දේශපාලනය කිව්වට නිකම්ම නිකම් දේශපාලනය නෙමේ; “දේශපාලනික පරිණාමවාදය.” ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිණාමයේ මුතුන් මිත්තෙක් වගේම අතිශය වැදගත් සහ ඉහළින්ම ඇගයෙන මුල් පුරුකක් තමා මැග්නා-කාර්ටා. මැග්නා-කාර්ටා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිණාමයේ පැරණිතම සාමාජිකයෙක් වගේම ලෝකයේ මුල්ම ලේඛනගත දේශපාලනික සම්මුතීන්ගෙන් එකක්. එංගලන්තය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ මාවතට යොමු කරන්නටත් ඒ ඔස්සේ ලොව අද දකින සියළුම ආකාරයේ ප්‍රජාතාන්ත්‍රික පාලන ව්‍යූහයන් නිර්මාණය වීමටත් අවශ්‍ය කළ මූලික සුදුසුකම් නිර්මාණය කරමින්, රාජ්‍යත්වයේ අසීමිත බලය නිශේධනය කරමින්, පාලන බලයේ අයිතියත් ශක්තියත් ජනතාවාදී මාවතකට අවතීර්ණ කරන්නටත් හේතු වූ ඉපැරණිතම ලියවිල්ලක්.
ඉතින් මේ කතාව ගොඩනැගෙන්නේ මේ ලියවිල්ල වටායි. 1215දී ජෝන් රජතුමා සි‍ටුවරුන්ගේ කැ‍රැල්ලකට පරාජය වීමෙන් අනතුරුව, ඔවුන්ගේ බලපෑම් මත මෙම ඓතිහාසික ලියවිල්ලට මුද්‍රා තැබුවේ කිසි කැමැත්තකින්, සතුටකින් නෙමෙයි. හේතුව ඔහුගේ රාජකීය බලය අත්‍යන්ත ලෙස සීමා සහගත කරලමින් එහි බලය සාමාන්‍ය මිනිසුන් වෙත පවරා දීමට ඉන් සිදු කළ බලකිරීම. රජු මීට එකඟ වුණේ තම රජකම ‍රැකගන්නට ඒ මොහොතේ වෙනත් විකල්පයක් නොතිබි නිසා. නමුත් මේ උත්සාහය තම අනභිබවනීය බලය තමන්ගෙන් උදුරා ගැනීම පිණිස වන බව ඔහු නොදැන සිටියා නොවෙයි. එනිසා ඉඩ ලද පළමු වෙනි මොහොතේම ඔහු මෙය මර්දනය කරලීම සඳහා තම උපරිම ශක්තිය යෙදවූවා. ඒ සඳහා ඉතා කූඨ ලෙස උපක්‍රමශීලීව කටයුතු කරමින් සියළු බල අධිකාරීන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටත් ඔහු සමත් වුණා.
මේ අතරේ රජුගේ මේ වැඩ පිළිවෙළ වළක්වාලමින් එංගලන්තයට උදාවූ නිදහස ‍රැක ගැනීමට ඉතා සුළු පිරිසක් ස්වේච්ඡාවෙන් පෙළගැසුණා. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයට පින් සිදු වන්නට අද අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට ඉඩ සැලසී තිබෙනවා. තමන්ගේ ජීවිත පරදු තබමින් ඔවුන් ‍රැක දුන් ඒ ළදරු ප්‍රජාතන්ත්‍රවාදය කෙමෙන් මුහුකුරා ගොස් අද එහි ඉහළතම තැනට පත්වෙලා.
ඉතින් තමන්ගේ මේ විශ්වාසයන් වෙනුවෙන් නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් බිහිකිරීමට උර දුන් ඒ විරුවන් ගැන සිහිකරමින්, කෘතවේදීවෙමින් මේ නිර්මාණය රසවිඳින්නට ආරාධනා කර සිටිනවා. ඒ වගේම කියන්න ඕනේ මේකේ අඩංගු සටන් දර්ශන අතිශය තාත්ත්වික අන්දමින් රූගත කොට තිබෙනවා. හරියටම අපිත් එතන ඉන්නවා වගේ! විචාරක මතයන්ට අනුකූලව මේ වසරේ නිමැවූ වඩාත්ම උසස්තම සහ තාත්ත්විකම සටන් ජවනිකා අඩංගු චිත්‍රපට අතුරින් මෙයත් එකක් වනවා.
ඒ වගේම ඇසබි වදන් සුළු ප්‍රමාණයක් ඇති බවත් සඳහන් කරන්න ඕනා.. :)

850 MB කොපිය මෙතනින් බාගන්න

470 MB කොපිය මෙතනින් බාගන්න

385 MB කොපිය මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

 

Leave a Reply